මහාමායාවනි



මෙය කෙසේ සිත් ඇදගන්නා සුලු කථාවකට නැගිය හැකිදැයි මා දින-සති කීපයක් ගෙවෙනා තුරු මා සමග සංවාදයක නියුතු වුනා. 

එනමුත් කථාවට නිමිත්තක් ලෙස මා සසල කල මීට නොදෙවෙනි වස්තු බීජයක් මා ජීවිත කාලය තුලම සොයාගත නොහැකි නිසාත්..., 

මෙය ඔබ දැනගත යුතුම කථාවක් නිසාත්.., 

මෙම කතාව මා තුළ ඇතිකල පීඩනය මුදාහල හැකි හොදම අවස්ථාව මෙය නිසාත්.., 

මා සියල්ල එලෙසම මෙහි සටහන් කිරීමට අවසානයේ මම මා සමගම එකඟතාවයකට පැමිනියා. 

වස්තු බීජය පරිකල්පනය නැමති තුනපහ එක් නොකර ඔබට පිලිගැන්වීම රස බාල කරයිදෝ යන සැකයෙන් වුවත් මා මගේ සිතෙහි ඇති බර සැහැල්ලු කරනු වස් එය ඒලෙසටම මෙහි ගෙත්තම් කිරීම මෙලස අරඹමි. 

• • •

 මෙය මා මාගේ ප්‍රේමවන්තිය හමුවූ මුල් වකවානුවේ අප අතර වූ කතාබහක දිගුවක්. 

අප දෙදෙනා වෘත්තියයන් දෙකක, සුසමාදර්ශයන් අන්ත දෙකක ජීවත්වූවන් වූ බැව්න් අප අපව හදුනා ගැනීම යම් ලෙසකින් අභියෝගයක්ව පැවතියා. 

ඒ නිසාම අප දෙදෙනා විසින් අප සුසමාදර්ශයන් තුල අප ලැබූ අත්දැකීම්, වෘත්තිය ජීවිතය තුල ලැබූ අත්දැකීම් එකිනෙකා ඉදිරියේ දිගහැරීම එම දිනවල අප අතර නොවැරදීම සිදුවූ දවස අවසානයේ "මල් කඩන" පරිඡේදය තුල අනිවාර්යය අංගයක්ව පැවතියා. 

කෙසේ වුවත් මාගේ වෘත්තිය තුල මා හට එතරම් මානව සහසම්බන්ධතා නොමැති වීම නිසාම ඇගේ වෘත්තිය හා බැදුනු කතා ඇසීමට මා තුළ යම් ඇල්මක් නිර්මාණය වූවා. 

කෙසේ හෝ මාගේ බොහෝ කථා මටම නීරස වන නිසාවෙන් අපගේ සංවාදයන් බොහෝමයක ඇගේ කථා සදහා වැඩි ඉඩක් අනිච්ඡානුගව නිර්මාණය වුනා. මගේ කතා බොහෝමයක් සම්මත රාමූවක ඒකාකාරී ස්වරූපයක් පැවතියත් ඇගේ කථා තුල විවිද ස්වරූප, විවිධ හැඟීම්, විවිධ බෙදුම් රේඛා පැහැදිලිව සටහන්ව පැවතියා. 

මානසික සෞඛ්‍ය විද්‍යායතන, ගෝලීය වසංගත, විවිධාකාර සමාජ ස්ථර, රෝහල්, වාට්ටු මේ සෑම තැනකම අලුත් කථාවක්, වෙනස් ලෝකයක් මා දුටුවා. 

සිනාසිය හැකි බොහෝ තැන් මෙන්ම ගැඹුරින් හුස්ම ගතයුතු තැන් රාශියක් ඒ කතාවල පැවතියා. 

අප විවිධ මාතෘකා කතාබහ කරමින් දුරකථන සංවාදය තුල කෙමෙන් කෙමෙන් ඇවිද යමින් සිටියා. 

අද සංවාදය ප්‍රසව හා නාරිවේදය.., 

මා පෙර සදහන් කල ලෙසටම සමහර කතා බොහෝ පීඩාකාරී දවසක වුව මතක් කරමින් සිනාසිය හැකි වර්ගයේ හාස්‍ය පිරි සිදුවීම් වූවා. 

සුප්‍රසිද්ධ රෝහලක ගෙවන වාට්ටුවක් දෙවනත් කරමින් ව්‍යන්ධකරනයට ලක්වූ තමන් ගැබ් ගත්තේ කෙසේදැයි මොර දෙමින් ප්‍රශ්න කරන යුවලගේ කතාව ඒ පන්නයේ සිදුවීමක්. 

තම තෙවන දරු ප්‍රසූතියේදී තවත් දරුවන් බිහිකිරීමට ඇති අකමැත්ත මත මෙම යුවල ව්‍යන්දකරනයකට ලක් කරන ලෙස ඉල්ලා සිටියත් දරුප්‍රසූතිය අතරතුර වූ යම් සංකූලතාවයක් නිසා එය සිදු කර තිබුනේ නැහැ, එනමුත් යම් ලෙසකින් එය මෙම යුවලට සන්නිවේදනය වීමක් සිදුවීත් නැහැ. කෙසේ හෝ එම අතපසුවීම රෝස කැලේට නම් සන්නිවේදනය වී තිබුනා, ඒ අනුව සිදුවිය යුතු කරුනු කාරනා ඒ අනුවම සිදුවී රෝස කැලෙන් සතරවන දරු පැටියා ඔවුන් වෙත පැමින තිබුනා. 

• • •

නමුත් මෙය මා සසල කල කථාවක්, 

රාත්‍රී නින්ද මගෙන් උදුරා ගත් කතාවක්, 

අවසානය මා තවමත් සොයන කථාවක්. 

එවකට ඇය බස්නාහිර පළාතේ ප්‍රමුඛ රෝහලක ප්‍රසව හා නාරිවේද අංශයට අනුයුක්තව වෛද්‍ය ශිෂ්‍යයාවක්ව ඉගෙනුම ලබන අවදියක්. තම මතයෙන් හෝ දැනුමෙන් යමක් එක්කල නොහැකි එහෙත් තම දැනුමට යමක් එක්කල හැකි සංකීර්න රෝගී තත්ව ඇති රෝගීන් පිලිබද සාකච්ඡා ආදියට සහභාගී වීමේ අවස්ථාව ඔවුන්ට හිමිවූවා. 

ඒ සම්ප්‍රදායයන් කෙසේ නිර්මාණය වූවාදැයි අවබෝධයක් මා හට නොමැති වුවත්, 

ඒ හරහා ඇයට දැනුමක් මෙන්ම 

ඔබටත් මටත් ගැඹුරින් හුස්ම ගතහැකි තැනක් නිර්මාණය වන්නට මේ කතාව හරහා නියමිතයි. 

රෝහල තුල සිදුවන සංකීර්න සැත්කම්, විවිධ සංකූලතා ඇති රොගීන් හා ඔවුන්ගේ ප්‍රතිකර්ම පිලිබද විවිධ අංශවල විශේෂඥ වෛද්‍ය වරුන් කැදවා මතයන් විමසීම, එම රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා පෙර සූදානමකට ලක්වීම මෙම සාකජාව තුල සිදු වුනා. 

ඔවුන් එම සාකච්ඡාව තුල සුවිශේෂී රෝගියෙකු පිළිබද සාකච්චා කලා, 

ඇය ගැබිණි මවක්, 

වෛද්‍යවරියක්,

වෛද්‍යවරයෙකුගේ බිරිඳක්, 

අයිසන්මෙන්ජර් සින්ඩ්‍රොමය (Eisenmenger Syndrome) නම් හදවත ආශ්‍රිත දුර්ලබ රෝගී තත්වයෙන් පෙලෙන දරුවෙකු පිලිසිද නොගතු යුතු බවට තරයේ නිර්දේශ ලත් රෝගියෙක්. 

ඔව්, 

ඒ කරුනු සතරින් මේ කථාවේ ඇති ගැඹුර කොතෙක් දැයි එදා මේ සිදුවීම ප්‍රථම වරට අසන මා ඉදිරියේ පැහැදිලිව සටහන් වුනා. 

"මෙම දුර්ලභ රෝගී තත්වයෙන් පෙලෙන රෝගීන්ගේ හදවතෙහි ව්‍යූහය නිරොගී පුද්ගලයන්ට වඩා සම්පූර්නයෙන්ම වෙනස් ස්වරූපයක් ගන්නවා, මෙවැනි රෝගී කාන්තාවන් හට දරුවන් සෑදීමට කිසි ලෙසකින් නිර්දේශ කරන්නේ නෑ, මොකද දුර්වල හදවතක් ඇති කාන්තාවකට දරු පිලිසිද ගැනීමකදී වන ශාරීරික වෙනස්කම් කිසිසේත්ම දරාගැනීමට බැහැ" 

ඒ මගේ පෙම්වතිය මේ සිදුවීමේ ගැඹුරටම මා තව තවත් කැදවමින් එහි ඇති ඛේදවාචකය මා හට විස්තර කළ අයුරුයි. 

තත්වය එසේනම් උගත් වෛද්‍යවරුන් වෙන ඔවුන් විවාහ වූයේ ඇයි, 

විවාහය තුල දරුවෙක් සෑදීමට තීරනය කලේ ඇයි? 

මේ මගේ සිතතුල වූ ප්‍රශ්න පෙරහැරක ප්‍රථම කස කරුවන්. 

"ඒ දෙන්නා විවාහ වන්නට ආසන්නයේ තමයි මේ රෝගී තත්වය දැනගෙන තියෙන්නෙ, මෙවැනි රෝගීන් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. සමහර වෙලාවට ඇයට දරුවෙකු බිහිකර යම් සලකුනක් තබා මේ ලෝකෙන් යන්නට සිතෙන්න ඇති" 

ඒ මාගේ පෙම්වතියගේ විග්‍රහයයි. 

ඇගේ විග්‍රහය මා සිතතුල වාන් දමමින් තිබූ ප්‍රශ්න කීපය බැමි පුපුරුවා හරිමින් මහා ජල කදක් බවට පරිවර්ථනය කලා. 

නමුත් ඒ බොහෝ ප්‍රශ්න වලට මගේ පෙම්වතිය තුලත් පිලිතුරු වූයේ නෑ. 

නමුත් මා තුල තව තවත් දුරකතන සංවාදය තුල සිත්තම් වුන "මහාමායාව" මගේ සිතේ ගැඹරුම තැනක් අත්පත් කරගනිමින් පැවතියා. 

ඇය තම කෙටි ජීවිත කාල තුල මතකයක් ඉතිරිකර යෑමට සිත හදාගත්තේ කෙසේද? 

වෛද්‍ය වරුන් වූ ඇයත් ඔහුත් මෙවැනි තීරණයකට කෙසේ එළබෙන්නට ඇතිද? 

මරණයෙන් කෙලවර වන රමණය ඔවුන්ගේ සිත් කෙසේ පාරවන්නට ඇතිද? 

අප සමාජය විසින් අර්ථ ගන්වා රාමුවකට ගෙන ඇති ආදරය, විවාහය පිලිබදව ආකල්ප තම කෙටි ජීවිත කාලය තව තවත් කෙටි කර ගනිමින් පරාර්ථකාමීව මේ ලෝකයට සලකුනක් තබායාමට සිත හදාගත් ඔවුන් විසින් කුඩුපට්ටම් කරා නොවේද? 

මැරෙන බව අමතක කල සමාජයක මැරෙන බව දැන දැන විවාහ වන යුවලක්, 

ඒ මරනය තවත් ඉක්මන් කරමින් දරුවෙකු පතන සැමියෙක් ගැන ඔබට කියවිය හැකිද? 

අවසානයේ ඇය මියයමින් ජීවිතය දෙන්න සූදානම්වන ඔවුන්ගේ ආදරයේ සළකුන පිළිබද ඇය කෙසේනම් සිහින දකින්න ඇත්ද? 

එදින අප දෙදෙනාගේ දුරකථන සංවාදය මැදියම් රැයට ආසන්නව නිමා වුවත් මම මා සමගම වන සංවාදය නිමාවන ඡායාවක් හෝ එදින තුන්යාමය වන තෙක්ම තිබුනේ නැහැ. 

මා කිසිදා නුදුටු එහෙත් මා සිත තුල සිත්තම්වූ ආදර කථාව, 

අවසානයක් තවම නොලිවී ඇති ඇගේ ආදර කතාවට විවිධ ස්වරූප එදින රැය පුරාවටම මා ලබා දුන්නා. 

කෙසේ හෝ තුන්යාමයට ආසන්නව මම මගේ පෙම්වතියට මෙම කෙටි පනිවුඩය තබමින්, මා සිත තුල ඇති බර මදකට බිමින් තැබුවා... 


ආදරණීය පුතුට… 

පුතුනි 
සක් දෙවුබව 
හෝ 
බුදු බව ම 
පතන්න… 

මියෙන වග දැන දැන ම 
නුඹට දුන් 
උපත 
අන් හිත් වලින් 
මකන්න…






පලි: උපතිස්ස හේවාමද්දුම මහතා විසින් රචිත 'විසි දෙකට විසිපහක්' කෘතිය වෙනුවෙන් මා විසින් රචනා කරන ලද කෙටි කතාවකි.

Comments

Popular posts from this blog

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......